Sunday, 4 April 2021

ළමුන්ගේ චර්යාව කෙරෙහි රූපවාහිනියේ බලපෑම

ළමුන්ගේ  චර්යාව කෙරෙහි රූපවාහිනියේ බලපෑම 


     එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18 ට අඩු අයවලුන් ළමුන් ලෙස අර්ථකථනය කර ඇත. ළමයා යනු සෑම අවස්ථාවකම අත්හදා බලන්නෝ  වෙති. ළමයා කුඩා කල සිටම සමාජානුයෝජනය වනු ලබන්නේ කුටුම්භය හරහා ය. නමුදු අද්‍යතනය වන විට රූපවාහිනිය යනු නිවසේ ප්‍රධාන ස්ථානයක් අත්පත් කරගන්නා ලද ප්‍රබල සංහතික මාධ්‍යයක් (Mass Media) ලෙස හැඳින්විය හැක.  


නමුදු ළමයාගේ සමාජානුයෝජන ක්‍රියාවලිය පවුල තුළින් ගොඩ නැංවීම පසෙකලා එම කර්තව්‍ය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ රූපවාහිනියයි. ළමයාගේ චර්යාව කෙරෙහි ප්‍රබල වශයෙන් සමාජානුයෝජන ක්‍රියාවලිය ඉවහල් වේ. වර්තමානයේ රූපවාහිනිය ඉතා තදබල ලෙස ළමයාගේ ජීවිතයට බද්ධ වී ඇත. බොහෝවිට ඔවුන් රූපවාහිනිය නරඹන්නේ වැඩිහිටි මගපෙන්වීම කින් හෝ අධීක්ෂණයකින් තොරව ය. ළමයා මහා සමාජය වෙත ගමන් කිරීමෙහිදී  සමාජානුයෝජන මාධ්‍යයක් ලෙස අද්‍යතන සමාජය තුළ රූපවාහිනියට ප්‍රබල ස්ථානයක් හිමිව ඇත.  


"පවුලක් තුළ සිටි නව පරම්පරාවක් සමාජානුයෝජනය වූ මාධ්‍යයන් රූපවාහිනී මාධ්‍ය සමඟ වෙනස් වී ඇත"  (විජේසිංහ, 2007). එහිදී පවුලට පැවතී තිබූ සමාජානුයෝජන කාර්යය සිදු කිරීමේ වගකීම අද්‍යතනය වන වන විට රූපවාහිනිය මගින් සිදු කරයි. 


දරුවා සමාජානුයෝජනය වීමේදී ඔහුගේ හෝ ඇයගේ චර්යාව වැදගත් වේ. බොහෝවිට නූතනයේ දරුවන් සමාජයට අනුගත වන්නේ රූපවාහිනිය  මගින් විකාශය කරනු ලබන විවිධ චරිතයට අනුගත වන ආකාරයට බව හඳුනාගත හැක.  මෙහිදී මාධ්‍යවේදියා අද ප්‍රබල වගකීමක් ඇත්තේ දරුවා එළඹෙන සමාජයට සදාචාර සම්පන්න පුරවැසියෙක් බවට පත් කිරීමයි. 


එහිදී මාධ්‍ය ආයතනය ද එළඹෙන  ලෝකයට අවාසිදායක නොවන අයුරින් කටයුතු කළ යුතු වන්නේ ළමයා සමස්ත සමාජයේ මූලබීජය වන බැවිනි. "අවුරුදු දෙකකට අඩු දරුවන් රූපවාහිනියෙන් නරඹන සෑම පැයකටම ඔවුන් උපතින් ලද කිසියම් දෙයකට අවධානය යොමු කිරීමේ ශක්තිය 10% කින් අඩු වන බව සියයට රෝහලේ වෛද්‍ය දිවිත්‍රි ක්‍රිස්ටාස් පීඩියට්‍රිස් වෛද්‍ය සඟරාවට ප්‍රකාශ කර තිබේ (ප්‍රනාන්දු, 2004). 


මේ හරහා හඳුනාගත හැක්කේ රූපවාහිනිය මගින් දරුවාට ප්‍රබල අවාසි සහගත තත්වයන් හට මුහුණ දීමට සිදුවන  ආකාරයයි. මේ අනුව දරුවාගේ වර්ධන අවධියේ වැදගත්ම කාල සීමාව මේ ලෙස මෙය හඳුනාගත හැකිය. අද්‍යතනය වන විට රූපවාහිනී නාලිකා ළමා මනසට නුසුදුසු ආකාරයට වැඩසටහන් නිෂ්පාදනය නොකිරීම ළමයාගේ අයහපත් චර්යා වලට බෙහෙවින් බලපා ඇත. එය දරුවාගේ මනසේ වර්ධනයට ද බෙහෙවින් අහිතකර ලෙස බලපෑම් ඇති කරනු ලබයි. 


රූපවාහිනියේ දිස්වන බොහොමයක් චරිත ළමයා අනුකරණය කිරීමට පෙළඹී ඇත. එහිදී දරුවා නිවැරැදි දෑ නොව වැරදි දෑ ක්ෂණිකව වැළඳ ගැනීමට පෙළඹේ. එක්සත් ජනපදයේ පෙන්වූ "බැට් මෑන්"  චිත්‍රපටයේ එම බැට්මෑන් චරිතය අනුකරණය කරනට යෑමෙන් ළමෝ 12 ක් මියගියහ. මලයාසියානු රූපවාහිනියෙ දුටු සුපර්මෑන් නම් වීරයාගේ චරිතය අනුකරණය කළ දරුවන් හතක් කඳු ගොඩනැගිලි වලින් බිමට පැනීමෙන් මියගිය බව තවත් ළමයෙක් සුපර්මැන් මෙන් මෝටර් රථයක් ඔසවන්නට ගොස් යන්තමින් දිවිගලවා ගත් බවත් ඉවාන් නැමැති තුන් හැවිරිදි ළමයෙකු සුපර්මෑන් අනුකරණය කරනට ගොස්  ඉහළ මාලයේ සිට බිමට පැන මිය ගිය බවත් ආදී ශෝචනීය පුවත්  මෑතක දී හඳුනා ගත හැක. මේ මඟින් හඳුනාගත හැක්කේ රූපවාහිනිය ළමයාගේ චර්යාව කෙරෙහි කෙතරම් බලපෑමක් ඇත කරනවාද යන්නයි. 


රූපවාහිනී විකාශනයන් හා එය දරුවන්ගේ දරුවන්ගේ චර්යාවන් වලට කෙතරම් බලපෑම් ඇති කරනවාද යන්න සමාජ විද්‍යාඥයන් සහ අධ්‍යාපනික විද්‍යාඥයෝ පර්යේෂණ සිදුකර ඇත. ප්‍රධාන වශයෙන්ම ළමයාගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා හේතු වී ඇත්තේ රූපවාහිනිය බව නවතම පර්යේෂණ වාර්තාවන් අනූව හෙළිවී ඇත. 


ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා සම්බන්ධයෙන් අධ්‍යයනය කර බලන විට ඒවායෙහි ප්‍රචාරය වන බොහොමයක් වැඩසටහන් විදේශ රටවලින් ආනයනය කරන ලද වැඩසටහන් බව හඳුනාගත හැකි අතරම ඒවා මෙරට සංස්කෘතියට සහ සමාජ ක්‍රියාවලියට කෙලෙස බලපෑම් ඇති කරන්නේ ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. බටහිර රටක ළමයකු හැදී වැඩෙන පරිසරය මෙරට හා සැසදීමේදී ප්‍රබල වෙනස්කම් හඳුනා ගත හැක. ඇමෙරිකන් ශිෂ්ටාචාරයට මිනීමැරීම විනෝදයකි. ඔවුන්ගේ ශිෂ්ටාචාරය ආරම්භ වන්නේ රතු ඉන්දියානුවන් මරා දැමීමෙනි. මේ නිසා ඔවුන් වන්දනාමාන කරන්නේ ගිනි අවියට ය. නමුත් උසස් සංස්කෘතියකට ආගමකට උරුමකම් කියන මේ රට වැසියන් මිනීමැරුම් අපරාධ භීෂණ ආදී සමාජය තුළ උසස් කොට නොසලකයි. මෙරට විකාශය කරවන  බොහොමයක් බටහිර වැඩසටහන් එරට සංස්කෘතියට සදාචාරයට අනුගත වන ආකාරයට නිර්මාණය කරන ලද්දාවූ වැඩසටහන්ය. නමුත් එම වැඩසටහන් මෙරට සදාචාරයට හා සංස්කෘතියට නොගැලපී හැක. මනෝ විද්‍යාඥයන් පවසන ආකාරයට ලමයින්ගේ චර්යාව කෙරෙහි සහ ළමුන්ගේ මනසට වඩාත් බලපෑම් ඇති කර හැකි වාරණයට ලක් කළ යුතු ප්‍රබල වැඩසටහනක් ලෙස කාටූන් වැඩසටහන් හැඳින්විය හැක. මුල්කාලයේදී මනෝවිද්‍යාඥයින්ගේ ත් අධ්‍යාපනඥයින්ගේ උපදෙස් පිට කාටුන් චිත්‍රපට නිපදවීම සිදු කළ ද අද්‍යතනයේ එවන් ක්‍රියාවලියක් හඳුනාගත නොහැක. පසුගිය කාල වකවානුව තුළ මෙරට සමාජ මාධ්‍යන්හි ළමුන් ප්‍රචණ්ඩත්වයක් ආරෝපණය කරගනිමින් විවිධ ආයුධයක් අතැතිව එකිනෙකාට තර්ජනාත්මකව බැන වැදීමට රූපවාහිනිය  මගින් ලබාදෙන සන්දේශයන් වක්‍රාකාරව හේතු වී ඇත. විශේෂයෙන්ම දරුවන්ගේ ලෝකයේ වීරයන් බවට පත්වී ඇත්තේ රූපවාහිනිය මගින් ඉදිරිපත් කරන ප්‍රචණ්ඩකාරී චරිතයන්ය. නූතනයේ දරුවන් වීරත්වය මනන ලබන්නේ ප්‍රචණ්ඩත්වය මතය. සිව්වන ආණ්ඩුව ලෙස අර්ථකථනය කරමින් මාධ්‍යයට එවැනි ආකාරයට ආමන්ත්‍රණය කරනු ලබන්නේ වගකීමක් සහිතව  සමාජය තුල  කටයුතු කළ යුතු බැවිනි. "හොඳම දේ දරුවන්ටයි" යනුවෙන්  වී. අයි ලෙනින් සඳහන් කර ඇත. මේ අනුව මාධ්‍ය හරහා හොඳම දේ පමණක් දරුවන් හට ලබා දීම වැදගත් වේ. එම වගකීම  රූපවාහිනියට පමණක් නොව සමස්ත මාධ්‍ය ක්‍රියාවලිය සතු වගකීමක් මෙන්ම යුතුකමක් ද වේ. 


විජේසිංහ ඩබ්.ඒ.කේ.එන්

ජනමාධ්‍ය අධ්‍යනාංශය 

කොළඹ විශ්වවිද්‍යාලය 

ශ්‍රී පාලි මණ්ඩපය 



මූලාශ්‍ර 

බණ්ඩාර ධම්මික ඩී.එම්.එස් , සිව්වන ආණ්ඩුව සහ අපරාධ , (2015) , ගොඩගේ සහ සහෝදරයෝ.

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...