Saturday, 5 August 2023

ගෝලීයකරණය

ගෝලීයකරණය
ගෝලීයකරණය වූ කලී දේශ සීමාවලින් වෙන් ව පවත්නා ජාතික රාජ්‍යයන් ඒකාබද්ධ වීමේ ප්‍රවණතාවයි. ගෝලීයකරණ ක්‍රියාවලියේ ආර්ථික පැතිකඩක් සේ ම, සංස්කෘතිකමය හා දේශපාලනික පැතිකඩක් ද දක්නට ලැබේ. අප මෙහි දී විශේෂයෙන් අවධානය යොමු කරනුයේ ආර්ථික ගෝලීයකරණ (Economic Globalization) ක්‍රියාවලිය කෙරෙහිය. ආර්ථික ගෝලීයකරණය ඓතිහාසික ක්‍රියාවලියකි. මානව ශිෂ්ටාචාරයේ විවිධ අවධිවල, මිනිසා විසින් හඳුන්වා දෙන ලද නොයෙකුත් නවෝත්පාදන සහ තාක්ෂණිය සංවර්ධනයන් තුළින්, රටවල් අතර ආර්ථික සම්බන්ධතාවයන් ශක්තිමත් වනු දැකිය හැකිය. 16 වන සිය වස ආරම්භයේ දී සහ 19 වන සියවස අග භාගයේ දී ද, ගෝලීය කරණයේ ප්‍රතිඵල වශයෙන් රටවල් අතර ආර්ථික සම්බන්ධතාවන් ශක්තිමත් වූයේය. එහෙත් වර්තමාන ගෝලීයකරණ ක්‍රියාවලිය, ඓතිහාසික ව හට ගත් ගෝලීයකරණ ක්‍රියාවලියෙන් කරුණු කීපයත් නිසා වෙනස් වේ. වර්තමාන ගෝලීය කරණ ක්‍රියාවලිය සිදු වනුයේ අළුත් වෙළෙඳපොළවල් අළුත් මෙවලම්, අළුත් ක්‍රියාකාරකයන් හා අළුත් නීතිරීති පවතින පරිසරයක් තුළඟ වර්තමානයේ විදේශ විනිමය හා ප්‍රාග්ධන වෙළෙඳ පොළවල් දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර, ඕනෑම දුරස්තර ස්ථානයක පිහිටි වෙළෙඳ පොළක් සමඟ ඉතා පහසුවෙන් සම්බන්ධ වීමට ද, පිළිවන. අන්තර් ජාලය, ජංගම දුරකථනය හා විවිධ මාධ්‍ය ජාලයන් ඔස්සේ නිරතුරැවම තොරතුරු ගලා යාම කාර්යක්‍ෂම ට සිදු වේ. ජාතික රාජ්‍යයන් අභිබවා යා හැකි අධිකාරී බලයක් සහිත, ලෝක වෙළෙඳ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන අද බිහි වී තිබේ. ඇතැම් ජාතික රාජ්‍යයන්ටත් වඩා බලවත් බහු ජාතික සමාගම් වර්තමානයේ දක්නට ලැබේ. එසේ අන්තර් ජාතික රාජ්‍යය නොවන සංවිධාන ද මෙම ගෝලීයකරණ ක්‍රියාවලිය තව තවත් පාර්ශ්වීය ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ජාතික රාජ්‍යයන් බැඳී සිටීම කරන කොට ජාතික ප්‍රතිපත්ති අනුගමනය කිරීමට ඒ ඒ රටවලට ඇති සෛවරීත්වය කිසියම් දුරකට සීමා වී ඇත.  (අතපත්තු, 2011, පි.ටු 280). 


වර්තමාන අවධියෙහි ගෝලීයකරණ මූලික වශයෙන්ම තාක්‍ෂණය සහ ප්‍රතිපත්ති යන සාධක දෙක මත ක්‍රියාත්මක වේ. තාක්‍ෂණික සාධකය ගත් විට, එයින් අදහස් කෙරෙනුයේ ප්‍රධාන වශයෙන් ප්‍රවාහණ සහ සන්නිවේදන පිරිවැය අඩු වීම නිසා, ජාත්‍යන්තර නිෂ්පාදනය ඉතාමත් ඵලදායි කටයුත්තක් බවට පත්ව ඇති බවය. මුහුදු මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහණය කිරීමේ පිරිවැය. 1920-1990 අතර කාලය තුළ 70% කින් පහළ වැටී ඇති අතර, ගුවන් ප්‍රවාහණ පිරිවැය 1930-1990 කාලය තුළ 84% කින් පහළ වැටී ඇත. පරිගණක යන්ත්‍රවල මිල විශ්මයජනක ලෙස පහළ වැටී ඇත. විශේෂයෙන්ම තොරතුරු තාක්‍ෂණය සහ සංඛ්‍යාංක විප්ලවය (Digital Revolution) හේතු කොට ගෙන ගෝලීයකරණ ක්‍රියාවලිය මෑත කාලයේ දී අතාමත් තීව්‍ර ස්වරූපයක් ගෙන ඇත. තාක්ෂණික සංවර්ධනය, විශේෂයෙන් ම අන්තර් ජාලය සහ ජංගම දුරකථන ඇතුළු සංදේශන උපකරණ වල දියුණුව සහ ඒවායේ පිරිවැය සීඝ්‍රයෙන් පහත වැටීමේ ප්‍රවණතාව, ගෝලීය කරණය වීමේ වේගය හා ශීඝ්‍රතාව ඉහළ යාමට සහ ජන කොටස් අතර අන්තර් ක්‍රියාවලිය ගැඹුරු වීමට උපකාරී වී ඇත.

තාක්‍ෂණික අංශයේ හට ගත් වෙනස්කම් සේම ප්‍රතිපත්ති ක්‍ෂේත්‍රයේ හට ගත් වෙනස්කම් ද ගෝලීයකරණයට අවශ්‍ය ගාමක බලය සපයා තිබේ. ප්‍රතිපත්ති ක්‍ෂේත්‍රයන්හි ඇති වූ වෙනස්කම් අතර විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ, විධාන මගින් මෙහෙයවනු ලබන ආර්ථික ක්‍රම වෙනුවට, වෙළෙඳ පොළ බලවේග ඔස්සේ මෙහෙය වෙන ආර්ථික ක්‍රම කරා නැඹුරු වීමේ ප්‍රවණතාවක් 20 වන සිය වස අවසාන කාර්තුවේ දී ලොව පුරා පැතිරයාමයි. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති බොහෝ රටවල ක්‍රියාවට නැගුණේය. නිර්බාධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රතිඵලයක් වශයෙන් භාණ්ඩ හා සාධක වෙළෙඳපොළ සම්බන්ධ තරගකාරිත්වය වැඩි වී, නිෂ්පාදනය හා පරිභෝජන පර්යන්තයන් එපිට විතැන් වී තිබේ. ලෝකයේ ඕනෑම රටක ඇති භාණ්ඩයක් පරිභෝජනය කිරීමේ අවස්ථාව, වෙනත් රටක සිටින පාරිභෝගිකයෙකුට සැලසී තිබේ. නිෂ්පාදන ක්‍රියාවලිය අද විකේන්ද්‍රණය වී තිබේ. කිසියම් භාණ්ඩයක් නිෂ්පාදන ක්‍රියාවලිය, විවිධ අදියරයන්ට වෙන් කොට, ඒ ඒ අදියර වඩාත් කාර්යක්‍ෂම ව නිපදවිය හැකි ස්ථාන වලට නිෂ්පාදන ක්‍රියාවලිය විකේන්ද්‍රණය කිරීම තුළින් නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමට හැකි වී ඇත. ගෝලීයකරණය හේතු කොට ගෙන රටක් සතු සාධක උරුමය හා නිෂ්පාදන කර්මාන්ත අතර බැඳීම ලිහිල් වී තිබේ. ඊට හේතුව අමු ද්‍රව්‍ය, යන්ත්‍ර සුත්‍ර, සහ නොයෙකුත් සේවාවන් වඩාත් තරගකාරී මිලකට ජාත්‍යන්තරව ලබා ගත හැකි වීම සහ ප්‍රවාහණ පද්ධතීන්ගේ දියුණුව හේතු කොට ගෙන, සාධක මත යැපීමේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් වීමයි. නිර්බාධ ආර්ථික ප්‍රතිපත්ති යටතේ මෙම නිෂ්පාදන ක්‍රියාවලියේ විසේන්ද්‍රණය සඳහා පහසුකම් සැලසී තිබේ. (අතපත්තු, 2011, පි.ටු 281). 

ගෝලීයකරණයේ තීව්‍රතාව පිළිබිඹු කරන දර්ශක රාශියක් ඇත. උදාහරණ වශයෙන් වර්තමානයේ ලෝකයේ මුදල් වෙළෙඳපොළවල දිනයක දී හුවමාරුවක මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 කට වඩා විශාල බව පෙන්වා දිය හැකිය. ලෝකයේ වර්ෂයක් තුළ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා වලින් 1/5ක් පමණ ප්‍රමාණයක් වෙළෙඳාමට  යොමු කරනු ලැබේ. 
(අතපත්තු, 2011, පි.ටු . 281)

ගෝලීයකරණය සංවර්ධනය වන රට වලට ඉමහත් අභියෝග රැසක් දායාද කර ඇත. මෙම රටවලින් බොහෝමයක් ගෝලීයකරණ ක්‍රියාවලියේ දී ආන්තිකකරණයට මුහුණ පා ඇත. ඉහළ යමින් පවත්නා අසමානතාවන් තුළිත් සමාජ ගැටුම් පෝෂණය වී ඇත. අසමානතාවන් ආදායම්වලට පමණක් සීමා වී නොමැත. ආර්ථික වත්කම් සහ සමාජ තත්ත්වයන් කරාද එය පැතිර ඇත. (අතපත්තු, 2011, පි.ටු 283-284) 

ගෝලීයකරණයන් සමග ඇති වූ සීඝ්‍ර ආර්ථික වර්ධනය, පාරිසරික වශයෙන් අහිතකර ප්‍රතිවිපාක ලෝකයේ බිහි කොට ඇත. ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් වශයෙන්, එක් අතකින් ලෝකයේ ධනවත් හා දුප්පත් රටවල් අතර පරතරය වැඩි වෙමින් පවතී. දිළිඳු ජනගහනයේ වර්ධනය පාරිසරික වශයෙන් අහිතකර බලපෑම් ඇති කරයි. (අතපත්තු, 2011, පි.ටු 286). 



WA කසුනි විජේසිංහ
කොළඹ විශ්වවිද්‍යාලය 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 

No comments:

Post a Comment

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...