Saturday, 5 August 2023

ආර්ථිකයක් යනු කුමක්ද?

ආර්ථිකයක් යනු කුමක්ද?


භාණ්ඩ හා සේවා නිෂ්පාදනයෙහිලා සහ බෙදා හැරීමෙහිලා ක්‍රියා කරන සමාජ සංවිධානය ආර්ථිකයක් ලෙස හැඳින් වේ. නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධව තීරණ ක්‍රියාවට නැංවීමෙහිලා පුද්ගලයන් ව්‍යාපාර ආයතන, රජය, සංස්ථා ආදිය සම්බන්ධ වන අතරම නීතිරිති යනාදිය ද බලපායි. මේ අනුව ආර්ථිකයක් යන්නෙන් භාණ්ඩ සම්පාදනයෙහිලා ක්‍රියා කරන පුද්ගල සහ ආයතන සංවිධානයන් අදහස් කෙරේ.  (දේවරක්කිත හිමි, 2010, පි.ටු.8) 


මූලික ආර්ථික ප්‍රශ්න

ඕනෑම සමාජයක මූලිකම ආර්ථික ප්‍රශ්නය හිඟකමයි. මේ නිසා සමාජයේ වෙසෙන පුද්ගලයන්ට උපරිම තෘප්තියක් ලබාගැනීම සඳහා හික සම්පත් යොදා ගැනීමේදී විසඳා ගැනීමට සිදුවන ප්‍රශ්න කීපයකි. ඒවා ආර්ථිකයක මුලික ප්‍රශ්න ලෙස හඳුන්වමු. ඒවා නම්,

1. කුමක් කොපමණ නිපදවිය යුතුද?

2. කෙසේ නිපදවිය යුතුද?

3. කවුරුන් සඳහා නිපදවිය යුතුද? යන්නයි.

කුමක් කොපමණ නිපදවිය යුතුද?

ආර්ථිකයක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා සම්පත් බෙදා හරින්නේ කෙසේද යන ගැටලුව මෙයින් විස්තර කෙරේ. සාපේක්ෂව සම්පත් හිඟ බැවින් යම් භාණ්ඩයක් නිපදවීමට සම්පත් වෙන් කළ විට අනිකුත් භාණ්ඩ නිෂ්පාදනය සඳහා වෙන්කළ හැකිව තිබූ සම්පත් කැප කිරීමක් සිදුවේ. එම නිසා මෙහිදී කුමක්, කොපමණ නිෂ්පාදනය කළ යුතුද යන ප්‍රශ්නය පැන නගී. එනම් නිෂ්පාදන හැකියා සීමා වක්‍රය (පර්යන්තය ) මත කුමන ලක්ෂ්‍යයක් තෝරා ගන්නේද යන ගැටලුවට මුහුණ දෙයි. අනාගත පරිභෝජනය සඳහා සම්පත් කැප කිරීම (වෙන් කිරීම) පිළිබඳ ගැටලුව ද මෙයට අදාළ වේ. ප්‍රාග්ධන භාණ්ඩ නිපදවීම, අනාගත පරිභෝජන භාණ්ඩ නිපදවීම වැඩි වීමට හේතු වේ. ඒ නිසා කොපමණ පරිභෝජන භාණ්ඩ නිපදවන්නේද කොපමණ ප්‍රාග්ධන භාණ්ඩ නිපදවන්නේද යන්න තීරණය කිරීමට සිදු වේ.

කෙසේ නිපදවිය යුතුද?

භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී විකල්ප ක්‍රම රාශියක් ඇත. එයින් කුමන ශිල්ප ක්‍රමයක් යොදා ගන්නේද යන ගැටලුවට මුහුණ දීමට 
සිදුවේ. මෙහිදී නිෂ්පාදනය කළ යුතු භාණ්ඩ තීරණය කිරීමෙන් පසුව සම්පත් වඩාත් කාර්යක්ෂමව යොදා ගැනීමට හැකි වන සේ
කෙසේ නිෂ්පාදනය කළ යුතු ද යන්න තීරණය කළ යුතු වේ. එනම්,


ශ්‍රම සුක්ෂ්ම නැතිනම් ප්‍රාග්ධන ශිල්ප ක්‍රමයක් යොදා ගන්නේද? 

පෞද්ගලික, සමුපකාර, සමාගම් ආදී කුමන සංවිධාන ක්‍රමයක් යොදා ගනු ලබන්නේද?

නිෂ්පාදන ස්ථාන ගත කිරීම සිදු කරනු ලබන්නේ කෙසේද?

මෙයට විසඳුම් සෙවීමේ ප්‍රධාන නිර්නායකය වන්නේ නිෂ්පාදන පිරිවැයයි. එසේම සාපේක්ෂව බහුල සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමටත්, හිඟ සම්පත් පිරිමැසුම්දායක ලෙස භාවිතයට ගැනීමටත් හැකි වන පරිදි කුමන නිෂ්පාදන ක්‍රම භාවිතයට ගත හැකිද යන්න මෙහිදී සලකා බැලේ.  

කවුරුන් සඳහා නිපදවිය යුතුද?

නිෂ්පාදකයෝ නිෂ්පාදන හා බෙදා හැරීම් පිළිබඳ තීරණ ගැනීමේදී. එම භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ඇත්තේ කාටද යන්න පිළිබඳව තීරණය කළ යුතුව ඇත. එනම් ජාතික ආදායම බෙදීයාම පිළිබඳව (ආදායම් ව්‍යාප්තිය) මෙහිදී සලකා බැලේ. කවර හෝ ආර්ථිකයක විවිධ ආදායම් කණ්ඩායම් සිටිය හැකිය.

එනම්,

1. වඩාත් දිළිඳ පංතිය

2. දිළිඳු පංතිය

4. මධ්‍යම පංතිය

5. ධනවත් පංති ආදී වශයෙනි

භූමිය හා ප්‍රාග්ධන වත්කම්වල හිමිකාරිත්වය, ශ්‍රමය, මානව ප්‍රාග්ධනය අනුව ඉපයීමේ හැකියාව විවිධ වේ. මේ අනුව විවිධ භාණ්ඩ සඳහා පවතින ඉල්ලුම විවිධ වේ. එබැවින් විවිධ පාරිභෝගික හා ප්‍රාග්ධන භාණ්ඩ මිලදී ගැනීමට ඇති හැකියාව හෙවත් ආදායම් බෙදීයාම පිළිබඳව, නිෂ්පාදකයින් නිෂ්පාදන තීරණ ගැණිමේදී පූර්ව දැනුමක් ලබාගත යුතුය යන්න මෙහිදී අවධාරණය කෙරේ. (දේවරක්කිත හිමි, 2010, පි.ටු.3-4) 

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය

සාර්ව ආර්ථික අරමුණු අත් කර ගැනීම සඳහා ආණ්ඩුවේ බදු අයකිරීම් සහ ණය ගැනීම්වල අදාළ වෙනස්කම් සිදු කිරිම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වශයෙන් නිර්වචනය කළ හැකිය. ශක්තිමත් හා කිරසාර ආර්ථික වෘද්ධියක් ප්‍රවර්ධනය කිරීමටත්, දරිද්‍රතාව පහළ හෙළීමටත් ආණ්ඩුව විසින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සුලබ ලෙස යොදා ගැනේ. 1930 ගණන් මැද භාගය වන තුරු පිළිගත් රාජ්‍ය මූල්‍ය මූලධර්මය වූයේ ආණ්ඩුවේ අයවැය ලේඛනය තුලනය කොට පවත්වා ගත යුතු බටය. තුලනය නොවුණු අයවැය ලේඛන ඉදිරිපත් කිරීම අයහසත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ලක්ෂණයක් ලෙස සලකනු ලැබීය. එහෙත් 1930 ගණන්වලින් පසුව බිහි වූ තේන්සියානු ආර්ථික න්‍යාය, රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියට ප්‍රබල සාර්ව ආර්ථික ප්‍රතිපත්ති උපකරණයක් ලෙස භාවිතා කිරීමේ හැකියාවක් පවතින බව අවධාරණය කළේය. ආණ්ඩුවේ වියදම් සහ බදු අයකිරීම් වෙනස් කිරීම මගින් සමස්ත ඉල්ලුම උත්තේජනය කළ හැකි බව කේන්දියානු ආර්ථික න්‍යාය පෙත්වා දෙයි. ආණ්ඩුවේ වියදම් සහ බදු අයකිරීම්වල මට්ටම සහ ඒවායේ සංයුතිය වෙනස් කිරීමෙන් සමස්ත ඉල්ලුම හා නිමැවුම් මට්ටමත්, සේවා නියුක්තියත්, සම්පත් බෙදී යාමේ රටාවක්, ආදායම් ව්‍යාප්ති රටාවන් කෙරෙහි සැලකිය යුතු බලපෑපේ කළ හැකි වේ.

ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්තියක් වශයෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති යොදා ගැනීමේ දී එහි ප්‍රධාන ස්වරූප තුනක් දක්නට ලැබේ. එනම් සංකෝචනාත්මක, ප්‍රසාරණාත්මක සහ මධ්‍යස්ත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වශයෙනි, කිසියම් රටක වාර්ෂික අයවැය ලේඛනය, එම රටේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ ස්වරූපය කැටි කොට දැක්වෙන ලේඛනයක් වේ. අයවැය ලේඛනය අතිරික්තයක් වාර්තා කරන විට, ඉන් ප්‍රකාශ වන්නේ ආණ්ඩුවේ වියදමට වඩා බදු අයකිරීම් විශාල බවත්, එබැවින් රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය සංකෝචනාත්මක එකක් බවත්ය. 


මක්නිසාද යත්, ආණ්ඩුවේ මිල දී ගැනීම් වලට වඩා බදු අය කිරීම විශාල වන විට, සමස්ත ඉල්ලුම කෙරෙහි සංකෝචනාත්මක බලපෑමක් ඇති කරන බැවිනි. මෙම තත්ත්වය යටතේ සමස්ත වියදම් ප්‍රවාහයට ඇතුළු කරන දැ (විදීම්)ට වඩා, සමස්ත වියදම් ප්‍රවාහයෙන් සිදුවන කාන්දුවීම (ගිලිහීම්) විශාල වේ. එවිට මුර්ත නිෂ්පාදිතය සහ සේවා නියුක්තිය කෙරෙහි සංකෝචනාත්මක බලපෑමක් හට ගනී.

අනිත් අතට, අයවැය ලේඛනය හිඟයක් වාර්තා කරන විට, එනම් බදු අය කිරිම්වලට වඩා ආණ්ඩුවේ වියදම විශාල වන විට, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රසාරණාත්මක එකක් ලෙස සලකනු ලැබේ. බදු අය කිරිම්වලට වඩා වියදම් විශාල වන විට, සමස්ත ඉල්ලුම කෙරෙහි ප්‍රසාරණාත්මක බලපෑමක් ඇති වේ. සමස්ත වියදම් ප්‍රවාහයට ඇතුළු කරන දෑ (විදීම්) ඉන් තාන්දු වන ප්‍රමාණයට වඩා විශාල වන බැවින්, මූර්ත නිෂ්පාදිතය සහ සේවා නියුක්තිය ප්‍රසාරණය වේ.


අධ්‍යස්ත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන ලක්‍ෂණය වනුයේ අයවැය ලේඛනය තුලිත මට්ටමක පවත්වා ගෙන යාමය. එහි දී ආණ්ඩුවේ වියදම මුළුමණින් ම බදු ආදායමෙන් පියවා ගනු ලැබේ. මෙබඳු අවස්ථාවක මූර්ත නිෂ්පාදිතය කෙරෙහි ඇති කරනු ලබන බලපෑම් උදාසීත එකකි. ආණ්ඩුවේ වියදම වැඩි වීම නිසා සමස්ත ඉල්ලුම කෙරෙහි ඇති වන ප්‍රසාරණාත්මක බලපෑම ඒ හා සමාන ප්‍රමාණයක බදු වැඩි කිරීමක් නිසා මුළුමනින් ම සමහන් වී නොයයි. වියදම සහ බදු සමාන අගයක් ගනු ලැබුව ද, වියදම නිසා හට ගන්නා ප්‍රසාරණාත්මක බලපෑම බදු නිසා හට ගන්නා සංකෝචනාත්මක බලපෑමට වඩා විශාලය. එබැවින් ඒවා එකිනෙක සනය වී නො යන අතර, වියදම වැඩි වූ ප්‍රමාණයෙන් ම මූර්ත නිෂ්පාදිතය ශුද්ධ වශයෙන් වැඩි වේ.

ආණ්ඩුවේ වියදම් සහ බදු වෙනස් වූ විට මූර්ත නිෂ්පාදිතය මත ඇති වන බලපෑම තීරණය වනුයේ ගුණකයේ විශාලත්වය මතය. ආණ්ඩුවේ වියදම වෙනස් වූ විට, නිෂ්පාදිතය මත ඇති වන බලපෑම, බදු වෙනස් වූ විට නිෂ්පාදිතය මත ඇති වන බලපෑමට වඩා විශාල වේ. මීට හේතුව ආණ්ඩුවේ වියදම් වෙනස් වූ විට එය සෘජුව ම සමස්ත ඉල්ලුමට බලපාන නමුදු, බදු වෙනස් වූ විට සමස්ත ඉල්ලුම සෘජුව ම එම ප්‍රමාණයෙන් වෙනස් නොවේ. බඳු වෙනස් වූ විට සෘජුව ම වෙනස් වනුයේ වැය කළ හැකි ආදායමයි. වැය කළ හැකි ආදායම වෙනස් වූ පසු එයට සංවේදී ව පරිභෝජන ඉල්ලුම ද්විතීයික වශයෙන් වෙනස් වේ. මේ නිසා ආණ්ඩුවේ වියදම් වෙනස් වූ විට ඇති වන ගුණක ප්‍රතිසාසයට වඩා, බුදු වෙනස් වූ විට හට ගන්නා ගුණක ප්‍රතිවිපාකය සාපේක්ෂ වශයෙන් කුඩා අගයක් ගනී. එබැවින් අයවැය ලේඛනයක්  තුලනය වුව ද, එහි කිසියම් ප්‍රමාණයක ප්‍රසාරණාත්මක බලපෑමක් පවතින බව මින් අදහස් කෙරේ.

සාර්ව ආර්ථික අරමුණු අත්කර ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය දායක වන ආකාරය විශ්ලේෂණය කරන විට එහි ස්වරූප දෙකක් හඳුනා ගත හැකිය. එනම්,

(1) ස්වයංක්‍රීය ස්ථායිකරණ ප්‍රතිපත්තිය (automatic stabilization policy)

(2) අභිමතානුසාරී ප්‍රතිපත්තිය (discretionary  policy) වශයෙනි.  (අතපත්තු, 2011, පි. 67-68-68) 

WA කසුනි නිමල්කා විජේසිංහ 
කොළඹ විශ්වවිද්‍යාලය 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 









No comments:

Post a Comment

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...