Saturday, 24 October 2020

කායික හා මානසික ව්‍යාකූලත්වය සමනය කරන සංගීත චිකිත්සාව.

උපුටා ගැනීමකි

කායික හා මානසික ව්‍යාකූලත්වය සමනය කරන සංගීත චිකිත්සාව

ලෝකයේ දියුණු යැයි සම්මත බොහෝ රටවල් සංගීතය නම් මානව කලාංගය බොහෝ කායික හා මානසික ව්‍යාකූලතාව සුවපත්භාවයට යොදා ගන්නවා වගේම අද වන විට රෝග නිවාරණය කිරීමේ චිකිත්සක ක්‍රමයක් ලෙස ද ප්‍රචලිතව පවතිනවා.

බුද්ධ දේශනාවට අනුව සුවය (Relax)අත්විඳීමට නොහැකි වූ විට මිනිසාට නොයෙකුත් ගැටලුකාරී තත්ත්ව මතු වෙනවා. ඒ අනුව ඔබ අප ප්‍රියකරන සංගීතයෙන් ලබන වින්දනය සිතට සහනයක් සලසයි.

මානසික මෙන්ම කායික රෝගාබාධ හමුවේ අද වන විට සංගීතය චිකිත්සාවක් ලෙස යොදා ගන්නා අතර එහි ප්‍රතිඵල පර්යේෂණ වලින් සනාථ වී තිබේ.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ලොව පුරා ජන හදවත් භීතියට පත්කර සමාජයම නිවසට කොටු කර ඇති මෙවන් සමයක මානසිකව මෙන්ම කායික ව ඇති වෙන පීඩා දුරුකර සුවපත්භාවය ලබා රෝග වලටද සහනයක් ලැබීමට සංගීත චිකිත්සාව දායක කර ගැනීම ඉතාම වැදගත්.



ඒ නිසාම අද වන විට නිවස තුළ රැදෙන කොළඹ නගරාසන්න තට්ටු නිවාස තුළ සාමාන්‍ය ජනයා වෙනුවෙන් ඔවුන්ගේ ඇති වන මේ මානසික චිත්ත පීඩා දුරුකරලීමට වගේම රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන ආසාදිතයන්ගේ මේ වයිරසය නිසා ඇතිවන සංකූලතා මගහරවා ගැනීමට හමුදාව හා සෞඛ්‍ය සේවා කණ්ඩායම් ගීතයන් ගයමින් ඔවුන්ව සනසන අයුරු ඉතාමත් අනර්ඝයි.

අද නූතන වෛද්‍ය පර්යේෂණ වලින් සංගීත චිකිත්සාවෙන් ඇති වන ප්‍රතිලාභ ඔප්පු කර ති⁣බෙනවා.

 

• මොකද්ද මේ සංගීත චිකිත්සාව කියන්නේ.....?

1991 වසරෙදි බෘෘෂියා විසින් එය හඳුන්වා දී ඇත්තේ “චිකිත්සකයා සංගීතය හා එහි සියලු අංගයන් භාවිත කරමින් රෝගීන්ට ඔවුන්ගේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට , ප්‍රතිෂ්ඨාපනය කිරීමට හෝ නඩත්තු කිරීමට උපකාරී වන අන්තර් පුද්ගල ක්‍රියාවලියක්” ලෙසිනි.

පසුකලකදී එනම්, 1998 දී ඔහුම එහි විකල්ප අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සංගීත චිකිත්සාව යනු, "ක්‍රමානුකූල මැදිහත් වීමේ ක්‍රියාවලියක්" ලෙසයි.

සංගීතය යන්න හඳුන්වා ඇත්තේ සෞන්දර්ය කලාව සමඟ සම්බන්ධ රිද්මයානුකූල සීමා හා ශබ්දය මාධ්‍ය කරගත් සංස්කෘතිය හා සම්බන්ධ විෂයක් වශයෙනි.

එසේම යම් පිළිවෙතක සකස් කරන ලද ශබ්ද වල එකතුවක් ලෙසද සංගීතය හඳුන්වා තිබෙනවා.

බ්‍රිටැනිකා විශ්වකෝෂයට අනුව සංගීතය යන්න හඳුන්වා ඇත්තේ "චිත්ත වේගයන්හි භාවමය ප්‍රකාශනය සඳහා ඇතිකරගනු ලබන, එමෙන්ම කටහඬින් සහ තූර්ය භාණ්ඩවල ශබ්ද ධ්වනියෙන් බිහිවෙන රමණීය ශබ්ද මාධූර්යය " ලෙසයි.

සංගීතයට යම් අයකුගේ මනසට මෙන්ම හදවතට සෘජු ලෙස ආමන්ත්‍රණය කරමින් පවතින මනෝභාව අභිප්‍රේරණය කිරීමටත්, නව ධනාත්මක සහ වින්දනාත්මක මනෝභාවෙ ජනනය කිරීමටත් විශේෂ හැකියාවක් ඇති නිසා එය මානසික ආබාධ සුව කිරීමේ පදනම ලෙස යොදාගෙන තිබේ.

එංගලන්තයේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය මගින් 2011 වසරේදී පළ කරන ලද පර්යේෂණ ලිපියක දැක්වෙන්නේ, "මානසික සහ ශාරීරික සෞඛ්‍ය ගැටලු පවතින පුද්ගලයින්ට ගායනයෙන් සහනයක් ලැබෙන බවයි" .

එම පර්යේෂකයින් සඳහන් කර ඇත්තේ, "බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවලට පවා සමූහ ගායනය තුළින් සැලකිය යුතු ප්‍රතිලාභ අත් කර ගත හැකි" බවයි.

ඔබටත් ඔබේ පවුලේ ආදරණීයන් එකතු කර ගෙන උදේ ,සවස හෝ රාත්‍රී කාලයක ඔබ ප්‍රිය කරන සංගීත භාණ්ඩද යොදා ගනිමින් ගීත ගායනය සිදු කළ හැකිනම් අනර්ඝයි. මෙහිදී සංගීත භාණ්ඩයක් නැත්නම් ඔබට ගෙදර උපකරණ නිර්මාණශීලීව යොදා ගත හැකියි.මෙසේ ගායනය තුළින් ඔබේ පවුලේ සතුට , සමගිය වර්ධනය සමග මානසික පීඩාවන්ද දුරුවී පවුලේ බැඳීමද වර්ධනය වේ.

රුසියානු ජාතික මනෝ වෛද්‍යවරුන් දෙපළක් වන වෛද්‍ය එස් .ගුරෙච්චි හා එච්. චාල්චනිකා පවසනුයේ කිසියමි පුද්ගලයකු සංගීතයට සවන් දෙන විට සිත කේන්ද්‍ර කර ගනිමින් සිදුවන ශාරීරික මානසික වෙනස්කම් රාශියක් ඉවත් වන බවයි.

මිනිසාගේ පැවැත්ම හා විකාශය රඳා පවතින්නේ වෛද්‍ය විද්‍යාව හා සංගීත විද්‍යාවේ සුසංයෝජනය මතයැයි දක්වන අතර සංගීතයේ දී යොදා ගන්නා රිද්ම තරංග වල නාද සංයෝග වල පවත්නා ඩෙසිබෙල් ප්‍රමාණය අනුව මිනිසා මෙන්ම මිහිකත වායුගෝලය ආරක්ෂා වේ‍ෙ

මානව සංගීතය ආකාර දෙකක් ඔස්සේ ප්‍රබේදනය වේ.

*භාව සංයමදාරී සංගීතය (Sentimental tranquilizing music)


මිනිසාගේ මානසික හා කායික සෞඛ්‍යය හා පැවැත්ම කෙරෙහි විපුල මෙහෙයක් ඉටු කරනු ලබයි. මේ සංගීතය ශ්‍රවණ⁣යේ දී කිසියම් වින්දනීය ආශ්වාදයක් තුළින් මානසික සංයමයක් සමතුලිතභාවයක් හා ප්‍රබෝධයක් ගෙනදෙයි.

*භාව ප්‍රකෝපකාරී සංගීතය (Sentimental provocative music )

මිනිසාගේ සෞඛ්‍යය කෙරෙහි පැවැත්මට විශාල හානියක් සිදුකරනු ලබයි. මේ සංගීත ක්‍රමය අන්තර්ගතව ඇත්තේ අධික ඝෝෂාකාරී රිද්මගත හා නාද සංකලනයයි.

 

• නින්ද හා සංගීත

සියලුම රෝගාබාධ මෙන්ම මානසික කායික සුවය ලබා ගැනීමට ඇති එකම මිල කළ නොහැකි ලාභයකි සුවබර නින්ද. සුවපහසු නින්දක් නොලැබීමට ඉතාමත් කාර්යබහුල ජීවන රටාව බලපායිත එහෙත් අද වන විට ඒ කාර්යබහුල ජීවන රටාව නැත. මානසික කායික අවපීඩන තත්ත්ව වගේම නොසන්සුන් බව නිසාත් නින්ද තරමක් දුරස් වී ඇත. එයද සුවපත් නිරෝගී දිවිය පිරිහීමට හේතුවකි. සුවපත් නින්දට හොඳම ඖෂධයක් ලෙස භාව සංයමදාරී සංගීතය (sentimental tranquilizing music )බොහෝ පිටුවහලක් වනු ඇත .

"ගායනය" කිරීමේ කිරීමේදී ඇතිවන ශාරීරික ක්‍රියාකාරකම් නිසා ශරීරය තුළ Endorphins නැමැති හෝමෝන මුදාහැරේ. මනස තුළ සතුට ඇති කිරීමට උපකාරී වන හෝමෝනය එයයි.

ගායනය කෙරෙන අවස්ථාවේදී අපට ගැඹුරු ලෙස ස්වසනය කිරිමට සිදුවන අතර එමගින් සිරුර පුරා රැධිර සංසරණ වේගය වැඩි වේ . Endorphins හෝමෝනය වැඩි වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.

සංගීත චිකිත්සාවේදී සිදුවන්නේ හෘදය ස්පන්දනය හා ස්වසනය පාලනය කරන ස්වං සිද්ධ ස්නායු පද්ධතිය වෙත බලපෑම් ඇති කිරීමයි.


ස්වං සිද්ධ ස්නායු පද්ධතිය කොටස් දෙකකින් සමන්විතයි. මෙය අනුවේගී (sympathetic) හා පාරානුවේගී (parasympathetic) වශයෙන් කොටස් 2කට අයිතිය. සංගීත බලපෑම ලැබෙනුයේ අනුවේගී කොටසටයි.

අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ මිනිත්තු 40ක කාලයක් සමූහ ගායනයක නිරත වීමෙන් කෝටිසෝල් නැමති මානසික ආතතිය (Stres ) ඇතිකෙරෙන හෝමෝනය ශීඝ්‍රයෙන් අඩුවන බවයි.

ගායනය කිරීමේදී පෙනහලු ආබාධ සහිත පුද්ගලයන්ට ස්වසන හැකියාව වැඩි වීමත් ඩිමෙන්ෂියා වැනි රෝගී තත්ත්වයන්ට සහනයක් ලැබීමත් සිදුවන බව පර්යේෂකයන්ගේ මතයයි.

පෙනහලු ආබාධ නිසා හටගැනෙන ඇදුම රෝගයේ සිට පෙනහලු පිලිකා දක්වා රෝගීන් වෙනුවෙන් ගායන වැඩමුළු පවත්වන මයින්ඩ් සෝන්ග් ආයතනයේ චිකිත්සක අංශයේ අධ්‍යක්ෂක මැගී ග්‍රේඩ් පවසනුයේ 'ගායන වැඩමුළු පහක් හෝ හයකට සහභාගි වූ පසු ඇතැම් රෝගීන්ගේ ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ හැකියාව පැහැදිලිව යහපත් වූ බවයි.’

නූතන හෘදය රෝග පිළිබඳ කරනු ලබන බොහෝ වෛද්‍ය මෙහෙයුම් ඖෂධ හා ප්‍රතිකාර ක්‍රමවේද අතර හෘදය රෝගීන් සුවපත් කිරීමෙහිලා සංගීතය එක්තරා ප්‍රතිකාර ක්‍රමයක් ලෙසින් යොදා ගනු ලබයි.

හදවත් රෝග හා ලේ ගමනය පිළිබඳව දීර්ඝකාලීන පර්යේෂණයන්හි නියැළුණු රුසියානු ජාතික වෛද්‍යවරුන් සොයා ගත්තේ ඩොජියල් සංගීතය ශ්‍රවණය කිරීමෙන් මානසික ආතතීන් මග හැර ගත හැකි බවත් රුධිර සංසරණය හා රිද්මය නිවැරදි වන බවත්ය.

සංගීත ස්වභාවය, රිද්මය, තානය හා නාදමය හැඩ මත සිරැරේ වෙනස්කම්, හෘද ස්පන්දනීය රිද්මයේ විපරිත තත්ත්ව ඇති වේ.

ඝෝෂාකාරි වූ අධික රිද්ම තරංග සංගීත ශ්‍රවණය වීමෙන් එනම් ප්‍රකෝප සංගීතයේ ප්‍රතිඵලයක් ලෙසින් පුද්ගලයන්ගේ භාවමය සිත ප්‍රකෝපය, පුද්ගල සිරැරේ නාඩි වේගය, හෘද ස්පන්දනීය රිද්මලතාව මෙන්ම මාංශ පේශීන්ගේ චලනය ද, අධික රුධිර පීඩනය හා ලේවල සීනි ප්‍රමාණය ඉහළ යාම සිදුවන බව ජීව විද්‍යා පර්යේෂණ පෙන්වා දෙයි.

එමෙන්ම රම්‍යවූත් සුරම්‍යවූත් සංගීතය ශ්‍රවණය කිරීමෙන් සුබ දායක වූ බොහෝ ප්‍රතිඵල මානවයාට ලැබේ.

විශේෂයෙන් මෘදු නාද සංයෝග හා ඝෝෂාකාරී නොවන රිද්ම රටා මඟින් මිනිස් ආතතීන් මගහැරී යයි. ආතතීන් අවම වීමෙන් සිත නිදහස් වේ. රුධිර පීඩනය සමතුලිත වේ.

මේ අනුව මිනිස් සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් කෙරෙහි පුද්ගලයා වින්දනය කරන සංගීතය සෘජුවම බලපෑම් කරනු ලබයි.

 

• යෝග දර්ශනය හා බැඳුණු සංගීතය

වර්තමානයේ දී යෝග දාර්ශනික කායික හා මානසික ලිහිල් භාවය ඇති කරන යෝග අභ්‍යාස ප්‍රගුණ කිරීමේදී ඊට ගැළපෙන උදම් රළ හඬ, ගලායන දිය පහරවල්, වැසි ජලයේ හඬ, කුරුලු හඬ, සංගීත භාණ්ඩ (බටනලා වයලීනය, සර්පිනාව) වැනි නාද යෙදීම හා ඊට අමතරව යෝග ප්‍රගුණ කිරීමේ දී යොදා ගන්නා " ඕම් " කාරය ,ගයත්‍රී වැනි විවිධ මන්ත්‍ර මෙන්ම විශේෂයෙන්ම භක්ති යෝග තුළින් දක්වන දෙවියන් වෙනුවෙන් භක්තිය වඩවන භජන්, කීර්තන් ගායනා ද මනසේ ශක්තිය අවදි කිරීමටත් ,මනස ශක්තිමත් කිරීමේ අරමුණිනුත් යොදා ගැනේ.

 

• සිරුරේ ප්‍රතිශක්තියට සංගීතයේ බලපෑම

 

මිහිරි සංගීත ඛණ්ඩ සවස් කාලයේ හා රාත්‍රී කාලය තුළ ඇසීම තුළ පර්යන්ත ස්නායු පද්ධතිය මගින් නිපදවන නයිට්‍රජන් ඔක්සයිඩ් (NO) ප්‍රමාණය වැඩිවීම නිසා විශේෂයෙන්ම විවිධ බැක්ටීරියා හා වයිරස් ආසාදන වලට සිරුරට මුහුණදීමේ හැකියාව වැඩිවන බවත් , එනම් සිරුරේ ප්‍රතිශක්තිය වැඩිවෙන බවත් සොයාගෙන ඇත.

සිරැරේ හෝමෝන අසමතුලිතතා පාලනයට සංගීත චිකිත්සාව යොදා ගැනේ. එය සිරුරේ උෂ්ණත්වය සමනය හා ආවේගකාරී සිතුවිලි එනම් ආයුර්වේදයෙහි සඳහන් රජස් හා පිත් කෝපකාරී ගති ලක්ෂණ පාලනයට විශේෂයෙන් ශාන්ත, කරුණා රසයන් මතු කරන පූර්වී රාගය, මර්මා හා භෛරවී රාගයන් උපයෝගී කරගැනීම ඵලදායි වන බව සොයාගෙන ඇත.

විවිධ භාව උද්දීපනය කිරීමෙන් එනම් කරුණ රසය, වීර්යය රසය වැනි දුක් දොම්නස් පහ කරන්නාවූ රසයන්ගෙන් යුත් කාෆි හා ආශාවරී රාගයන්ගෙන් සැදුණු සංගීතය විශේෂයෙන්ම වාත දෝෂය බලපාන්නාවූ සවස් කාලයේ ඇසීමට සැලැස්වීම වඩා ඵලදායි බව නවීන තාක්ෂණික පර්යේෂණ මගින් සොයාගෙන ඇත.

මේ පැතිරී යන සංක්‍රමණික රෝග හා සංක්‍රමණික කාලය තුළ ඔබට වඩාත් ඵලදායි ලෙස සංගීතය යොදා ගැනීමට හැකිනම් හැකි නම් වඩාත් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

 

• ගර්භණියයි සංගීතයයි

ඔබ දන්නවාද? මව්කුස තුළ සිටින ඔබේ පුංචි පැටියාට සංගීතය ඇසීමට සැලැස්වීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන බව.

නූපන් දරුවන් වෙනුවෙන් සංගීතයේ බලපෑම පිළිබඳ අධ්‍යනයේදී බ්‍රිතාන්‍යයේ නොටිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු ජොනතන් ෆුල්ෆර්ට්‌ විසින් MRI උපාංගයේ බෝල්ඩ් ඉෆෙක්‌ට්‌ වර්ගීකරණය සම්බන්ධ කරගත්තා. එයින් ගැබේ සිටින දරුවාගේ මොළයේ ඔක්‌සිජන් දර්ශනය දැක බලා ගැනීමට පුළුවන්.

මෙහිදී කුස සිටින දරුවාට සංගීතය ඇසෙන්නට සලසා මවු කුසට සම්බන්ධ උපාංග මගින් දරුවාගේ මොළයේ රුධිර සංසරණය අධ්‍යයනය කළා. සංගීතය ඇසෙන විට රුධිර සංසරණය මනාව සිදු වෙන අන්දම මෙහිදී පෙනී ගියා.

මෙම අධ්‍යයනය තව දුරට සංවර්ධනය කරමින් ගැබ සිටින දරුවා සංගීතයට සවන් දෙන අන්දම හඳුනා ගැනීමට ගැබේ සිටින කළලයේ මුහුණ පිහිටි දිසාවට රතු ආලෝකයක්‌ ලබා දුන්නා. ඒ අතරම සිදු කරන ලද MRI වාර්තාවෙන් පෙනී ගියේ දරුවාට ශබ්දය ඇසෙන බවත් රුධිර සංසරණයට සමගාමී ලෙසින් පෙනීම සහ ඇසීම ඉතා හොඳින් සිදු වෙන බවත්ය.

නමුත් මේ අවස්‌ථාව වෙනුවෙන් යොදා ගත යුත්තේ කඨෝර නොවන ළයාන්විත සංගීතය බවත් අමතක නොකළ යුතු බවත් ජොනතන් සඳහන් කරනවා. ඒ අනුව ඔබ ගර්භණී මවක් නම් මෙම ව්‍යසන අවස්ථාවෙ සංගීතය ඔබවත් දරු පැටියාවත් නිරෝගීව තබාවි.

නැතිනම් ඔබට ඔබේ දරු ගැබට ඇසෙන්න කුස අතගාමින් සියුම් නාදයකින් නැළවිලි ගී කියන්න පුළුවනි. එයත් ඉතා ඵලදායීය.

තවද ගැබෙහි දරු පැටියාට ඇසෙන ලෙස භාවනා ක්‍රම, ගාථා ශ්‍රවණය, ගීතිකා ගායනය

(ඔබ අදහන ආගමට අනුව) වැනි දෑ කිරීම මේ කාලය තුළ පමණක් නොව දරු පැටියා මෙලොවට බිහි වනතුරුම කළ හැකියි.

දරු නැළවිලි ගී මගින් දරුවන්ගේ මානසික හා කායික වර්ධනයට සුබවාදී ප්‍රතිඵල ලබා දෙන බව ඇමරිකාවේ සිදු කරන ලද අධ්‍යයනයක්‌ මගින් සනාථ වී තිබෙනවා.

මෙම අඩු තාරතාවකින් යුක්‌ත සංගීතය දරුවන්ගේ මනසට බෙහෙවින් යෝග්‍ය බැව් හඳුනා ගත් අතර පෙරදිග මෙන්ම අපරදිග ලෝක සංගීතය බෙහෙවින් තම ජීවිතයට සම්බන්ධ කර ගත් බව පෙනී යනවා.

එබැවින් මෙවන් සමයක වෙනදාට වඩා නිදහසකින් ඔබ නිවසෙහි රැදෙන බැවින් කුඩා දරුවන්ගෙ මානසික සුවතාව උදෙසා මේ උපක්‍රම යොදා ගත හැකියි.

 

• පවුලේ සාමාජිකයන් එකට එක් වීමේ කාලයයි මේ.

මිනිස්‌ සිරුර බාහිර ලෙසින් අපට ලැබෙන දේ පිළිගැනීමේ හැකියාවෙන් යුක්‌ත අතර ආදරය, කරුණාව, සංවේගය වැනි හැඟීම් නිසා අපේ සිතට ඇති වන බලපෑම පාලනය කරන්නේ අධිෂ්ඨානයේ සහ චිත්ත ශක්‌තියේ බලපෑම අනුවය. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ වේ. ඇතැම් අය වේදනාවන් දරා ගැනීමට අපොහොසත් වුණත් තවත් පිරිසකට වේදනාවන් අතින් නැගී සිටින්නට තරම් චිත්ත ශක්‌තියක්‌ තිබෙනවා.

සංගිත චිකිත්සාවේදී පුද්ගලයාගේ මානසිකත්වයට අනුව යමින් සංගීතයෙන් ප්‍රතිකාර ලබා දීමේ හැකියාව ලැබෙනවා. ඔෙබ් පවුලේ සාමාජිකයන්ගේ සිත්වල මෛත්‍රී කරුණා ගුණ වර්ධනයට ද ඒ අනුව සංගීතය දායක වෙනවා.

රසය යනු කලාවේ බීජයයි. විඳීමට සිතක් තිබිය යුතුයි. අපගේ මොළය වම් හා දකුණු අර්ධ ගෝල දෙකකින් සමන්විත අතර කලාත්මක හැකියාවන්, නිර්මාණශීලී ක්‍රියාකාරකම් මෙන්ම ආදරය, දුක, විරහව වැනි විවිධ මානසික ශක්තීන් එකට බැඳී පවතින හැඟීම් ද මොළයේ දකුණු අර්ධ ගෝලය හා සම්බන්ධයි. විශේෂයෙන් විරහව විවිධ මානසික ශක්තිවලට හේතුවක් ලෙස දැක්වේ.

උදාසීන ගති ඉස්මතු කරන මෙවැනි අවස්ථාවක ශෘංගාර රසය දනවන සංගීතය එනම් කල්‍යාණ, බිලාවල් හා කමජ් රස ආශ්‍රිත සංගීතය ශ්‍රවණය මනස සන්සුන් කිරීමට යෝග්‍ය බව සොයා ගෙන ඇත.

සිතෙහි හටගන්නා අසමතුලිත තත්ත්වයන් හා මානසික අවපීඩනයන් හෙවත් ගැටලු, ආතතීන් හේතු කරගෙන පුද්ගල චින්තන රටාවේ වෙනස්කම් ඇතිවීම නොවැළැක්විය හැකිය. එසේ වන විට සිරුරේ ජෛවී රසායන ක්‍රියාවලියෙහි විවිධ වෙනස්කම් සිදුවේ. මේ තත්ත්ව පාලනය කිරීමට නූතනයේ ක්‍රමවේද දෙකක් ප්‍රයොජනයට ගනී.

1. බෞද්ධ භාවනාව

2. සෞම්‍ය වූ රාගධාරී/ සම්භාව්‍ය සංගීතය

මධුර වූත් රමණීය වූත් කන්කළු වූත් සංගීත රාවයන්ට සවන් දෙන පුද්ගලයාගේ හෘදය ස්පන්දනීය රිද්මයත් (Heart beat ) එ් හා සම්බන්ධ වන ඉන්ද්‍රියය ක්‍රියාකාරිත්වය සමතුලිත වේ.

 

• ජන ජීවිතය හා සංගීතය

 

සංගීත රිද්මයන් ප්‍රාථමික යුගයේ පටන් මානව ජන ජීවිතය සමග බද්ධව පැවතුණා.කමතේ අස්වනු නෙලන කාලයට ඇසෙන ගොයම් කවි, රෑ පැල් රැකීමේදී තනිකම පාළුව මැකීයාමට කියූ පැල් කවි වැනි ජන ගී තුළින් මනසට මෙන්ම අස්වැන්නටද විශාල ලෙස මෙම සංගීතය බලපෑමක් වී ඇත. සරු අස්වැන්නට එය බලපා ඇති බවට අතීත සාධක ද හමුවේ.

මේ අවුරුද්දේ අවුරුදු සැමරීම අසීරු වුවත් අවුරුදු කාලය ළංවත්ම ඇසෙන කොහාගේ නාදයද චිත්ත ප්‍රීතිය වඩවන්නක් බව ඔබ දන්නවා. කොහාගේ නාදය නිසායි මුළු ලක් වැසි සියලු දෙනා දැනගන්නෙ අවුරුදු ළඟ බව.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, ශාන්ති කර්ම, සෙත් කවි දක්වාම මේ තාල රිද්මයන් විකාශනයව පැතිර පවතී.

කොහොඹා කංකාරිය, බලි යාග, තොවිල්, පිරිත් සජ්ජායනය, ගැබිණියගේ නිවසින් ඇසෙන අංගුලිමාල පිරිත්, අපේ දේශීය නාද රටා ඇසෙන හේවිසි හඬ, පෙරහැරවල් ආදී මේ සියල්ල රටට මෙන්ම ජනතාවට ඇතිවන බිය, කරදර දුරු කරලීමට යොදා ගත් සාම්ප්‍රදායික සංගීත රිද්මය මුසු ක්‍රමවේද වේ.

මීට වසර දහස් ගණනකට පෙර සිට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ සංගීත චිකිත්සාව යොදා ගෙන ඇත.

පුරාණ වේද ග්‍රන්ථයක් වන ගාන්ධර්වවේදයද එය මනාව විස්තර කර ඇති අතර ඔබ අප හදුනන ශාරීරික දෝෂයන්ට අමතරව මනසෙහි තත්ත්ව තුනක් ලෙස සත්ත්වො, රජස්, තමස් පිළිබඳ ආයුර්වේදය දක්වනවා. සෞම්‍ය සංගීතය සත්ත්ව ගුණ වර්ධනය කර මනස සන්සුන් කරනවා.

වර්තමානයේ හැල්මේ දුවන ජීවන ගමන තුළ සුලබව අසන්නට ලැබෙන මානසික හේතූන් මුල් කරගෙන ඇති වන මනෝකායික රෝග වලටද, විශාදය, මි⁣⁣⁣ග්‍රේන්, ඉරුවාරදය, කොඨර ප්‍රදාහය, ඇදුම, පීනස, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදය රෝග වැනි බෝ නොවන රෝගවලටද සංගීත චිකිත්සාව විශිෂ්ට ප්‍රතිඵලදායි සත්කාරයක් බවට වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කර අවසන්.

සිරුරේ කායික, මානසික සමතුලිතතා ඇති කිරීම කෙරෙහිත් ශරීර නිසි ක්‍රියාකාරිත්වයට ආහාර දිරවීමට, ලේ ගමනාගමනයට, ශක්තිය රඳවා ගැනීමට, සිරුරෙහි වර්ධනයට හා ආරක්ෂාව උදෙසාත් සංගීතය ඉවහල් වන බවත් විවිධ වූ සංගීතමය ශිල්ප ක්‍රම හා නාද සංයෝග මෙන්ම රිද්ම චලන ක්‍රියාකාරකම් තුළින් මානවයාට මෙන්ම අවට පරිසරයටත් බොහෝ සේ බලපෑම් කළ හැකිය.

උදා: ඇතැම් ගොවි බිම්වල සංගීතය ආශ්‍රය කරගෙන සිදුකරන කෘෂිකාර්මික කටයුතුවලදී විශිෂ්ට අස්වැන්නක් ලබා ගත හැකි බවට වාර්තා වේ.

විශේෂයෙන් නූතන ජීව විද්‍යා පර්යේෂණ අනුවත් කායික විද්‍යාව පිළිබඳ නව පර්යේෂණ අනුවත් පෙනහළු නිරෝගී බවට පත් කර ආසාදිත තත්ත්වයන් අවම කිරීමට මෙන්ම ස්නායු පද්ධතිය නිරෝගී ශක්තිමත් කර ආරක්ෂා කිරීමට වාදනය හා රසාලිප්ත සංගීතමය සංයෝජනාවන්ට මහත් මෙහෙයක් කළ හැකි බව වාර්තා වේ.

සංගීතය යනු විශ්ව භාෂාවකි. මිනිසාට පමණක් නොව මිහිතලයෙ ඇති ගස් වැල් සතා සිව්පාවුන් සුවපත් කරන ගුණය මේ ස්වභාවදහමින් මතු කරන සංගීත රටාවන් තුළම ගැබ්ව ඇත.

එනිසාවෙන් මේ අපූර්ව වූ සංගීතය යහපත් ලෙස යොදා ගෙන මිහිතලය ද ඔබ ද නිරෝගී යහපත් සුවයක් ළඟා කර ගැනීම ඔබ සතුයි.

මේ එ් සදහා ඇති හොඳම කාලයයි. මෙලෙසින් වයස් භේදයකින් තොරව ඔබ සියලු දෙනාට සංගීත චිකිත්සාව මගින් සුවබර දිවියක මඟ කියයි.

(විශේෂ ස්තූතිය - ආයුර්වේද වෛද්‍ය චේතිකා නාගහවත්ත, රක්වාන ආයුර්වේද රෝහල)

No comments:

Post a Comment

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...